නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම


 නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම


සෑම බෞද්ධයකුම වාගේ ඕනෑම කුශලයක් කළාට පසුව ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් මිදී නිවන් දැකීමට වුවත්, කරනු ලබන සෑම කුශලයක් නිසා ම නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට ලැබෙන්නේ නැති බව සමහර අය නො දන්නා කරුණක් වන්නට පුළුවන්.  බෝධි පූජා, බුද්ධ  පූජා, දන්දීම්, වැනි සසර දිග්ගැස්සීමට හේතු වන වට්ටගාමී කුශලයක් කළාට පසුව ඒවා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් එවැනි කුශලයක් වුවත් නිවන් ලැබීමට හේතුවන විවට්ටගාමී කුශලයක් බවට පත්කර ගැනීමට නුවණ ඇති කෙනෙකුට හැකි බව අවබෝධ කර ගැනීම සුදුසු යි. 

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යනුවෙන් අදහස් කරන්නේ නුවණින්, විදර්ශනා ඇසකින් නැවත නැවත විමසා බලමින් තමා විසින්ම එම කරුණු අවබෝධ කර ගැනීමට.  විදර්ශනාව ගැන අවබෝධයක් නැති කෙනකුට මෙය කළ නො හැකි නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්.  එවැනි අවබෝධයක් ඇතිකර ගැනීම නිවන අත්දැකීම සඳහා ද ඉතාමත් ම අවශ්‍ය වනවා.

සම්මාසම්බුද්ධත්වය, පසේබුද්ධත්වය, අග්‍රශ්‍රාවක-මහාශ්‍රාවක භාවයන්, රහත්භාවය ආදී කවර ප්‍රාර්ථනයක් තිබුණත්, ඒ සෑම කෙනකු විසින් ම නිවන අවබෝධ කිරීමට අවශ්‍ය ගුණධර්ම අනිවාර්‍යෙන් ම දියුණු කර ගත යුතු යි.

නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම කියන්නේ කෙටියෙන් කියනවා නම් ශීල-සමාධි- ප්‍රඥා කියන ත්‍රිශික්‍ෂාවට; මෙය ඊට වඩා විස්තර  වශයෙන් දක්වනවා නම් ආර්‍යඅෂ්ඨාංගික මාර්ගයට;   ඊටත් වඩා විස්තර වශයෙන් කීවොත් සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයන්ට. මේ අතුරෙන් දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්‍යසත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ආර්‍යඅෂ්ඨාංගික මාර්ගය යි සැම විටම වාගේ දක්වා වදාළේ.

❇️❇️❇️ත්‍රිශික්‍ෂාව : ශීල, සමාධි, ප්‍රඥා.

❇️ශීල   : 

ගිහි අයට නම් නිත්‍ය පංචශීලය හෝ නිත්‍ය ආජීව අෂ්ඨමක ශීලය ආරක්‍ෂා කිරීම ප්‍රමාණවත් වුවත්, ඉඳ්‍රිය සංවර ශීලය ආරක්‍ෂා කිරීම ද ඉතාමත් ම ප්‍රයෝජනවත් වනවා. ඒ කියන්නේ ඇස- කන- නාසය- දිව- ශරීරය  හා මනස කියන ඉඳ්‍රියන්ට රූප- ශබ්ද- ගන්ධ- රස- කයට දැනෙන ස්පර්ශ හා මනසට දැනෙන දේවල් හමුවුණාට පසුව 'ආශාවක්, තරහක්, ඊර්‍ෂ්‍යාවක්' ආදී කෙලෙස් ඇතිවන්නට නොදී සිත මැදහත්ව තබාගැනීමට  පුරුදු වීමට.  

මේ සඳහා එදිනෙදා ජීවිතයේ දී තරහක් ඇතිවන විට 'තරහක් තරහක් තරහක්...' කියා සිහිපත් කොට ඒ තරහ සිතුවිලි මැඩ ගැනීමත්, තමන්ගේම පවුලේ  භාර්‍යාවන් වැනි අය හැර වෙනත් අය ගැන අයුතු රාගයක් ඇතිවන විට 'රාගයක් රාගයක් රාගයක්' කියා සිතා ඒ ඔස්සේ සිතිවිලි ගලා යාමට ඉඩ නොදී සිත කෙලෙස් වලින් තොරව හැකි තරම් ඉන්නට පුරුදු වීමත් කළ යුතු වනවා. මෙසේම ඊර්‍ෂ්‍යා දැඩිලෝභ  ආදී  සෙසු කෙලෙස් ඇතිවන  විට ද එසේ කරන්නට ඕනෑ. මෙය පුරුදු කිරීම මුලදී තරමක් අපහසු වුවත්, පුරුදු වූ පසු සිත සැනසිලි දායක ලෙස තබා ගැනීමට හැකිවේවි.

❇️සමාධි :  

සමාධි කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ඇති කර ගනු ලබන රූපාවචර 1-2-3-4  ධ්‍යාන සිත් වලට. නිර්වාණය අත්දැකීම සඳහා අඩුම වශයෙන් පළමුවන ධ්‍යාන සිතවත් තිබීම අත්‍යවශ්‍ය වුවත්,  සමථ භාවනා කොට ධ්‍යානයක් උපදවා ගෙන විදර්ශනා භාවනා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මුල සිටම විදර්ශනා භාවනා කරන කෙනකුට වුවත් ධ්‍යාන සිත් උපදවා ගන්නට පුළුවන්. ඒවා හඳුන්වන්නේ වීමංසා සමාධි නැත්නම් ඛනික සමාධි  කියලා.

❇️ප්‍රඥා : 

මෙයින් අදහස් කරනු ලබන්නේ නිවන ලැබීමට අවශ්‍ය වන කරුණු ගැන තමන් විසින් ම ඇති කර ගත යුතු විදර්ශනාමය ප්‍රඥාව. ලෞකික වශයෙන් ඇතිකරගනු ලබන ප්‍රඥාවක් නිර්වාණාවබෝධය සඳහා හේතු වන්නේ නැහැ.

❇️❇️ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය

                      සම්මා දිට්ඨි            - යහපත් දැකීම

                      සම්මා සංකප්ප       - යහපත් සිතුවිලි

                      සම්මා වාචා            - යහපත් වචන

                      සම්මා කම්මන්ත     - යහපත් කායික ක්‍රියා ( කයින් කරන වැරැදි නො කිරීම)

                       සම්මා ආජීව           - යහපත් දිවිපැවැත්ම

                       සම්මා වායාම         - යහපත් උත්සාහය

                       සම්මා සති              - යහපත් සිහිය

                       සම්මා සමාධි          - යහපත් සමාධිය

මෙම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙන් දැක්වෙන්නේ ද ඉහත කී ත්‍රිශික්‍ෂාවම හැර වෙන එකක් නො වෙයි.

සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස් හතරම වැටෙන්නේ ශීලයට 

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කොටස් 3 සමාධියට යි අන්තර්ගත වන්නේ. 

සම්මා දිට්ඨිය වැටෙන්නේ ප්‍රඥාවට.

❇️සම්මා දිට්ඨි  :  

බුදුරජාණන් වහන්සේ විසින් සම්මා දිට්ඨිය වශයෙන් වදාරා ඇත්තේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, හා මාර්ග සත්‍යය පිළිබදව ඇති කර ගත යුතු අවබෝධයට. වෙනත් වචන වලින් කියනවා නම්, නිවන් දැකීමට අවශ්‍ය කරුණු ගැන තමා විසින් ම ඇතිකර ගත යුතු ප්‍රත්‍යක්‍ෂමය අවබෝධයන්ට.  මේ පිළිබදව ඉදිරියේ දී විස්තර කරන්නම්.

❇️සම්මා සංකප්ප : 

නෛෂ්කර්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා සහ අවිහිංසා සංකල්පනා කියන සිතුවිලි නිවන් දැකීමට බලාපොරොත්තු වන අය විසින් ඇති කර යුතු වනවා.

ගිහි අයට කාම සංකල්පනා වලින් තොරව සිටීමට නො හැකි වුණත්,  නිරන්තරයෙන්ම එවැනි සිතුවිලි වලින්ම වෙලී සිටින්නේ නැතිව, සසර පුරා විඳි අනන්ත අප්‍රමාණ දුක් ගැන අවබෝධයක් ඇතිකර ගෙන ' මේ සසරේ රැඳී සිටීම මහා භයනක යි, අඩුවශයෙන්  සෝවාන්වත් නො වුණොත් අනාගතයේ කොච්චර නම් සසර දුකක් විඳින්නට සිදුවනව ද, මමත් කොහොම හරි සසරින් මිදී නිවන් දැකීමට උත්සාහ ගත යුතු ම යි , මැරුණට පස්සේ  සතර අපායට වැටුණොත් කවදානම් ගැළවෙන්නට ලැබෙයි ද’ ආදී නිවන් දැකීමට අවශ්‍ය වන නෛෂ්කර්ම සිතුවිලි ඇති කර ගත යුතු යි. මෙවන් සිතුවිලි ඇති වුණේ නැත්නම් කවුරුවත්ම නිවන් දැකීමට අවශ්‍ය ගුණ ධර්ම දියුණුකර  ගැනීමට  උත්සාහ ගන්නේ නැහැ.

ව්‍යාපාද සිතුවිලි වලින් පිරී ගිය සිතකින් නිවන් දැකීමට  බැහැ. එම නිසා අව්‍යාපාද හෙවත් මෛත්‍රි සහගත සිතුවිලි ඇති කර ගත යුතු යි. මෛත්‍රිය ගැන විස්ත්තරයක් භාවනා කෙටියෙන් හඳුන්වා දෙන වීට කිරීමට යි  බලාපෝරොත්තු වෙන්නේ.

අවිහිංසා හෙවත් කරුණා සහගත සිතුවිලි නිවන්  දැකීමට බලාපොරොත්තු වන කෙනකුගේ සිත තුළ තිබිය යුත්තක්.  තමන්ට කවුරු හරි ක්‍රෝධ කිරීම්-වෛර කිරීම්-පළිගැනීම්-නින්දා අපහාස අපකීර්ති පැතිරවීම්  ආදී දේවල් කරනවාට තමන් කැමැති නැතිවා වගේම ලෝකයේ කවුරුවත්ම එවැනි දේවල් වලට ලක්වීමට කැමැති නැහැ. ඒක නිසා සතුරකුටවත් කායික  වශයෙන් හරි, මානසික වශයෙන් හරි කිසිම කරදරයක් හිරිහැරයක් නො කර සිටින්නට උත්සාහ ගත යුතු යි. ‘මේ සියළුම සත්ත්වයෝ දුකෙහි පිහිටලා සිටින්නේ, සියළුම සත්ත්වයෝ දුකින් මිදෙත්වා' කියා කරුණා සහගත සිතුවිලි ඇතිකර ගැනීම ඉතා සුදුසු යි.

❇️සම්මා වාචා : 

යහපත් වචන කියන්නේ  බොරු-කේලාම්- ඵරුෂ වචන සහ සම්පප්‍රලාප කීමෙන් වළකින එකට. මේ අතුරෙන් බොරු කීම හා සම්පප්‍රලාප කියන එකයි බොහෝ දෙනකු විසින් වැඩිපුර සිදු කරන්නේ. බොහෝ දෙනකු කියන කථාවක් තමයි, බොරු කියන්නේ නැතිව අද සමාජයේ ඉන්නට බැහැ කියන  එක. ලෝකයක් හදන්නට අපට බැරි නිසා තමන් ගේ සිත පාපයෙන් මුදා ගැනීමයි කළ යුතු වන්නේ. එම නිසා තමන් ඇසුරු කරන අය තරහ කර ගන්නෙත් නැතිව, හැකි තරම් දුරටවත් බොරු කීමෙන් වැළකී සිටීමට  උත්සාහ කිරීම තමාගේ ම යහපත සඳහා හේතු වන බව තේරුම් ගෙන බොරු කියන්නේ නැතිව ඉන්නට  මහන්සි ගන්නට ඕනෑ  කවදා හෝ නිවන් දැකීමටබලාපොරොත්තු වනවා නම්.  

අද ඔබට සැම විටම වාගේ අසන්නට , කියවන්නට , බලන්නට තිබෙන්නේ තමන්ටත් වැඩක් නැති,  අනුන්ටත් වැඩක් නැති, මෙලොව යහපත සඳහාත් හේතු නො වන , පරලොව යහපත සඳහාත් හේතු නො වන, නිවන සඳහා කිසිසේත්ම හේතු නො වන, සසර දිග්ගැස්සීමට හේතු වන , පව් රැස්කර දෙන හිස් වචන - සම්පප්‍රලාප.   එවැනි වචන අසන්නට සිදුවන අවස්ථාවල දී , ඇසුරු කරන අය අමනාප කර ගන්නේ නැතිව, ඒ අය කියන වචන වලට  " හ්ම්,. හරි-හරි,  ආ එහෙමද,  ඇත්තද.....’ආදී වශයෙන් ඉතා කෙටියෙන් ඒ අයට පිළිවදන් දෙමින් සම්පප්‍රලාප කීමෙන් හැකි තරම් දුරට වැළකී සිටින්නට පුළුවන්.

❇️සම්මා කම්මන්ත  : 

බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ හොඳ කර්මාන්තයක යෙදීම සම්මා කම්මන්ත කියලා. ඒක වැරැදි යි. බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ කයින් කරන වැරැදි ඒ කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම කියන පාපයහ් ගෙන් වැළකී සිටීම සම්මා කම්මන්ත කියලා. රහමෙර පානය කිරීමෙන් වැළකීමත් මෙයටම ඇතුළත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අදාළ පාලි පාඨ මේ ලිපි වල දක්වන්නේ නැත්තේ බොහෝ දෙනෙක් ඒවා නො කියවන නිසා. 

❇️සම්මා ආජීව : 

මෙයින් අදහස් කරන්නේ ධාර්මික වූ ජීවනෝපායකින් දිවිපැවැත්ම පවත්වා ගෙන යාමයි. අධාර්මික ලෙස අවුරුදු 100ක් ජීවත් වනවාට වඩා, එක දවසක් ධාර්මික වශයෙන් ජීවත්වීම ශ්‍රේෂ්ඨ බව යි බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ.

❇️සම්මා වායාම :  

සම්මා වායාමයට කුශල් පැත්තෙන් කොටස් දෙකකුත්, අකුශල් පැත්තෙන් කරුණු දෙකකුත් දේශනා කර තිබෙනවා. 

මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්,  මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසුව නො කර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල පැත්තෙන් දේශනා කර ඇති කොටස් දෙක. මේ දක්වා තමා විසින් කර නැති කුශල් දියුණු කර ගැනීමට උත්සාහවත් වීමත්, මේ දක්වා තමා විසින් කර ඇති කුශල් තව දුරටත් වැඩියෙන් වැඩියෙන් කිරීමටත් උත්සාහ ගැනීමත්  කුශල පැත්තෙන් දැක්වෙන කරුණු දෙක යි.

භාවනාවට අදාළ වන හැටියට නූපන් කුශල ධර්ම තේරුම් අරගෙන ඒවා දියුණු කිරීමට උත්සාහ ගත යුතු යි. මේ දක්වා තමාගේ සිත තුළ සිත එකඟ කර ගන්නට නො  හැකි නම් එය නූපන් කුශල ධර්මයක්. තමාගේ සිතේ සමාහිත බවක් නැත්නම් ,  සිතේ සමාධිය  වැඩී නැත්නම්,  රූපාවචර පළමුවෙනි ධ්‍යානයවත් මේ දක්වා ඇතිවී නැත්නම්  ඒවා නූපන් කුශල ධර්ම . ධ්‍යාන සිතක් උපදවා ගෙන ඇති කෙනකුට එයින් එහාට ඇති ධ්‍යාන සිත් නූපන් කුශල ධර්ම.  අඩු වශයෙන් සිතේ එකඟබවවත් ඇති කර ගැනීමට භාවනාව මුල සිට පුරුදු කරන අය උත්සාහ ගත යුතු වනවා.

විදර්ශනා පැත්තෙන් බලන විට මේ දක්වා තමාගේ සිත තුළ ඇති නොවූ ධර්ම රාශියක්ම තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය , සමුදය සත්‍යය, මාර්ග සත්‍යය ගැන නිවන් දැකීමට සුදුසු මට්ටමේ අබබෝධයක් බොහෝ දෙනකුට නැහැ . බොහෝ දෙනෙක් සසරේ ගමන් කිරීමට අවශ්‍ය දේවලම නිරත වනවා විනා සසරින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පූරණය කිරීමට කටයුතු නො කරන්නේ දුක්ඛ සත්‍යය ගැන නිසි අවබෝධයක් නැති නිසා.

 “මහණෙනි, ඔබලා සසරේ විඳින ලද දුක දන්නවා නම්, ඔබලාගේ  ඇඳගෙන සිටින රෙදි ගිනි ගත්තත් ඒ ගිනි නිවන්නට නො වෙයි ඔබලා උත්සාහ ගන්නේ, අවබෝධ නො කළ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කිරීමට යි” කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දක්වා සසර පුරා කොච්චර නම් දුකක් විඳලා තිබෙනව ද, සතර අපායන්ට වැටී කොච්චර නම් දරුණු දුක් වින්ද ද, සෝවන්වත් නො වුණොත් කොච්චර නම් කාලයක් සසරේ ඉදිරියේ දීත් දුක් විඳින්නට සිදුවෙයි ද කියලා තරමක හෝ හැඟීමක් ඇතිකර  ගන්නට උත්සාහවත් වන්නට ඕනෑ.  බුදුරජාණන් වහන්සේ  වදාළා මනුෂ්‍යයකුට මැරුණාට පස්සේ සුගතියක උපදින්නට ලැබෙන්නේ නියපොත්තක් උඩට ගත් පස් ටිකක් වගේ සුළු දෙනකුට පමණ යි, පොළවේ පස් තරම්   වාගේ බොහෝ දෙනෙක් උපදින්නේ දුගතිවල කියලා. කොච්චර  නම් අවදානම් තත්ත්වයක ද ඔබ සිටින්නේ කියලා තේරුම් ගන්න.  

දුක්ඛ සමුදය සත්‍යය ( නැවත නැවත ඉපදෙමින් සසර දුක් විඳින හේතුව ) එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාත්මක වන   හැටිත්,  සසර දුක නැති වී නිවන් ලැබෙන මාර්ගය වූ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්‍ය සත්‍යයත් තේරුම් ගැනීමට ද උත්සාහ ගන්න. පොත්වල මේ පිළිබඳව තිබෙන කරුණු කියවා මතක තබා ගත් පමණින් මේවා අවබෝධ කර ගත්තා කියා රැවටෙන්නට එපා.

රූප- වේදනා- සංඥා-සංස්කාර- විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් ගේ යථා ස්වරූපය තමා විසින්ම අවබෝධ කර ගත යුතු වනවා. පංචස්කන්ධය නිරන්තරයෙන්ම වෙනස් වන අනිත්‍ය දෙයක් බවත්, පංචස්කන්ධය පවතින තාක් කල් ඒ තුළින් දුකක්ම ඇතිවන  බව හා පංචස්කන්ධයම දුක්ඛ සත්‍යයක් මෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වන බවත්, ඒවා තමාට ඕනෑ විධියට පවතින්නේ නැති හේතුඵල ක්‍රියාදාමයක් විනා ඒවා තමාගේ හෝ තමාගේ ආත්මයක් නො වන බවත් තමන් විසින් ම අවබෝධ කර ගත යුතු යි. වෙනත් කෙනකු කියන දෙයක් අසාගෙන සිටි පමණින් හෝ ඒ ගැන සිත-සිතා සිටි පමණින් නිවන් දැකීමට ලැබෙන්නේ වහවහා නිවන් දැකීමට හැකි වන සේ පාරමී පුරා  ඇති  කෙනකුට පමණක් බවත් තේරුම් අරගෙන ඒ කරුණු තමා විසින්ම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වනවා.

පංචස්කන්ධ පැවතීම කෙරෙහි කලකිරීමක් (නිබ්බිදාවක්),  ඒවා කෙරෙහි නො ඇල්මක් (විරාගයක්) ඇති වී  පංචස්කන්ධ  ධර්ම සිතින් ගිලිහී යාම (නිරෝධය) ප්‍රත්‍යක්‍ෂ ලෙස භාවනාවෙන් අත්දැක ඒවා සම්පූර්ණයෙන් ම සිතින් අතහැරී යාමෙන් (පටිනිස්සග්ගයෙන්) කෙනකුට නිවන  මේ ජීවිතයේදී ම වුවත් අත්දකින්නට පුළුවන්.

පංචස්කන්ධ ධර්ම වශයෙන් එසේ බැලීමට නො හැකි කෙනකුට ඒවා නාමරූප ලෙසින් හරි, පඨවි- ආපෝ- තේජෝ -වායෝ- ආකාශ- විඥාන ධාතු වශයෙන් හරි,  ඇස කන නාසය දිව ශරීරය මනස  කියන ආයතන (චක්ඛායතන ආදී) වශයෙන් හරි,  බලන්නට පුළුවන්. තවත් බැලිය හැකි වෙනත් ආකාරත් තිබෙනවා.

❇️සම්මා සති :  

බොහෝ විට බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සතිය විස්තර කර ඇත්තේ කාය-වේදනා-චිත්ත-ධම්ම කියන සතර සතිපට්ඨාන  ධර්මයන් වශයෙන්.  සම්මා සතිය  දියුණු කර ගැනිම,  සම්මා සමාධිය දියුණු කර ගැනීමටත් ඉතාමත් ම අවශ්‍ය වනවා. සම්මා සමධිය අනිවාර්‍යයෙන්ම අවශ්‍යයි සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු පංචස්කන්ධ ආදී ධර්මයන්ගේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගන්නට. සම්මා දිට්ඨිය තුළිනු යි නිවන් දැකිය හැක්කේ. සම්මා සමාධියෙන් ලැබිය යුතු අනුබලය සම්මා දිට්ඨියට ලැබෙන්නට ඕනෑ අනිවාර්‍යයෙන් ම නිවන් දැකීමට නම්.

සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීමට පෙර සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා , පහසුවෙන් සිත එකග කර ගැනීමට හැකිවනු පිණිස ඒ ඒ පුද්ගලයාට සුදුසු ගැළපෙන පරිකර්ම වචනයක් එදිනෙදා ජීවිතයේ දී භාවිතා කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා.  සැම දෙනාටම වාගේ ගැළපෙන පරිකර්ම වචනයක් තම යි තායිලන්තයේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල ප්‍රගුණ කරනු ලබන " බුද්ධෝ" කියන වචනය. මෙය බුදුගුණ භාවනාවක් නො වෙයි.

එදිනෙදා ජීවිතයේ දී කායික ක්‍රියා කරන විට 'බුද්ධෝ-බුද්ධෝ-බුද්ධෝ....' කියා සිහි කරමින් ඒ ක්‍රියාවන් සිදුකරන්නට පුළුවන්.  ලෝභ, දෝෂ ආදී  නොයෙකුත් දේවල් සිත-සිතා ඒ කායික ක්‍රියා මෙතෙක් කල් කරමින් සිටියත්, මේ අයට පුළුවන් එලෙසින්  එදිනෙදා ජීවිතයේ දී කායික ක්‍රියා කරන විට 'බුද්ධෝ-බුද්ධෝ-බුද්ධෝ....' කියා සිහි කරමින් ඒ  ක්‍රියාවන් කරන්නට. ඒ වගේම එදිනෙදා ජීවිතයේ දී තරහ සිතක් ඇතිවන විටම 'තරහක් තරහක් තරහක්... ' කියා සිහිකර, ඒ එක්කම බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියා වැඩි වෙලාවක්  සිහිපත් කළ විට  ඒ ඇතිවූ  පාපකාරී තරහව නැති කර ගෙන සිත කෙලෙස් වලින් මුදා ගෙන සිටින්නට පුළුවන්.  මේ වගේම රාගයක්, ඊර්‍ෂ්‍යාවක්, දැඩිලෝභයක් , අමනාපයක්, නුරුස්නා ගතියක්, නොසතුටක් වැනි කවර ආකාර හෝ අකුශල් විතර්ක ඇතිවූ විට රාගයක්-රාගයක්-රාගයක්, ඊර්‍ෂ්‍යාවක්-ඊර්‍ෂ්‍යාවක්-ඊර්‍ෂ්‍යාවක්, දැඩි ලෝභයක්-දැඩි ලෝභයක්-දැඩි ලෝභයක්...... කියා සිහි කර, බුද්ධෝ කියන වචනය හැකි තරම් වේලාවක් සිහි කළහොත්,  මේ අයට හැකියාව ලැබෙනවා කෙලෙස් වලින් සිත මුදා ගෙන , පිරිසුදු සිතක් ඇතිව, සැනසිලිදායක ලෙසින් ජීවිතය පවත්වා ගෙන යන්නට. මෙහි දී සිදු වන්නේ අකුශල විතර්ක, කුශල විතර්ක තුළින්  මැඩ ගැනීමක්. 

දවසේ වැඩි කාලයක් මෙලෙසින් කටයුතු කරන විට, සතිය දියුණු කර ගන්නටත්,  එම නිසාම සිත එකග කර ගෙන සිතේ සමාහිත භාවයක් ඇතිකර ගැනීමටත් බොහෝ දෙනකුට හැකිකම තිබෙනවා. සමහර අයට පමණක් සිතේ සමාධිය ඇති කර ගන්නට පුළුවන්. තීක්‍ෂණ ප්‍රඥාවක් ඇති කෙනකුට බුද්ධෝ කියන වචනයේ අර්ථය හදවත තුළින් මතුවි-මතුවී එමින් ,  බුදුරජාණන් වහන්සේ කුමන කුමන ධර්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කර ගෙන , කොයි කොයි ආකාර වලින් ඒ ධර්ම ලෝක සත්ත්වයාට අවබෝධ කර දුන්නා ද ආදී කරුණු තමාගේ හදවත තුළින් ම ගැඹුරින්  අවබෝධ වෙමින් විදර්ශනා  භාවනාව පැත්තට නිරායාශයෙන් ම හැරෙන අයුරු අත්දකින්නට පුළුවන්. නිවන අත්දැකීමටත් එය හේතු වනවා.

❇️සම්මා සමාධිය :  

සම්මා සමාධිය කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් උපදවා ගත් රූපාවචර පළමුවෙනි, දෙවැනි, තුන්වැනි සහ හතරවන ධ්‍යානවලට. අරූපාවචර ධ්‍යාන හතරත් සම්මා සමාධියටම යි ඇතුළත් වන්නේ .  ධ්‍යාන සිතක් උපදවා ගන්නට භාවනා කළ යුතු ම යි.  අද කාලෙත් ධ්‍යාන ලාභීන් සිටින  බව අවබෝධ කර ගෙන සම්මා සමාධිය ඇති කර ගැනීමට උත්සාහවත් විය යුතු යි.

ඒ සඳහා  තමන්ට පහසුවෙන් කළ හැකි, ඒ වගේම වගේම පහසුවෙන් සිත එකඟ කර ගත හැකි භාවනා අරමුණක් තෝරාගෙන  කිරීම යි වඩා සුදුසු. පළපුරුදු කර්මස්ථානාචාර්‍ය වරයකුට මෙය තරමක් හෝ නිවැරැදි  අයුරින් තීරණය කළ හැකි විය හැකි වුණත්, එවැනි කෙනකු සොයා ගැනීමට තමන්ට නො හැකි නම්, භාවනා කිරීමට ප්‍රථමයෙන් බොහෝ දෙනකු විසින් කරනු ලබන බුදුගුණ, මෛත්‍රි, අසුභ, මරණ කියන  චතුරාරක්ඛ භාවනා එකිනෙකක් කර, ඒ අතුරෙන් වඩා පහසුවෙන් තමන්ට කළ හැකි භාවනා ක්‍රමය වැඩි වේලාවක් ප්‍රගුණ කරන්නට පුළුවන්.

භාවනා කරන විට,  හරි අත්දැකීමක් නො ලබාම සම්මා සමාධියයැ’ යි මිච්ඡා සමාධියකට මුලා විය හැකි අවස්ථා ඇති බැවින් එවැනි අවස්ථාවල දී සුදුසු කෙනකුගෙන් උපදෙස් ලබාගැනීම කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රතිවිරුද්ධ කරුණු අටට ප්‍රකාශ කර ඇත්තේ 'අට්ඨ මිච්ඡත්ත' කියල යි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නො වෙයි, මිච්ඡා දිට්ඨිය;  සම්මා සංකප්ප නොවෙ යි, මිච්ඡා සංකප්ප…. මේ ආදී වශයෙන් දැක්වෙන නිවැරැදි මාර්ගයට ප්‍රතිවිරුද්ධ අංග අටට.

මේ දක්වා කීවේ ත්‍රිශික්‍ෂාව සහ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව ඉතා කෙටි හඳුන්වාදීමක්.

❇️❇️❇️සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම :

සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කියන්නේ නිවන් ලබා දීමට හේතුවන කරුණු 37 කට.  එම 37 තුළ--

4 බැගින් වූ කොටස් 3ක් තිබෙනවා- සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර ඍද්ධිපාද කියලා.  (12 )

5 බැගින් වූ කොටස් 2ක් තිබෙනවා- පංචඉඳ්‍රිය සහ පංචබල කියලා.  (10 )

කරුණු 7ක් අන්තර්ගත කොටසක් තිබෙනවා. සත්ත බොජ්ඣංග   (7 )

තව කරුණු 8 ක් තිබෙනවා, ඒ තමයි කලින් කියූ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය   ( 8 )

❇️සතර සතිපට්ඨාන :  නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනකුට නැවත-නැවත ප්‍රගුණ කිරීමෙන්  බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා-වේදනානුපස්සනා- චිත්තානුපස්සනා-ධම්මානුපස්සනා  කියා  ඒවා හඳුන්වනවා. ආර්‍යඅෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් දක්වන්නේ සම්මා සතිය යි.  

සතිපට්ඨාන සහ සතිපට්ඨාන-භාවනාව   කියා කොටස් දෙකක් ගැන බුදුරජාණ වහන්සේ වදාරමින් ඒ දෙක උන්වහන්සේ විස්තර කර ඇත්තේ මේ විධියට ; " "සතිපට්ඨාන  ධර්ම කියන්නේ කායානුපස්සනා-වේදනානුපස්සනා- චිත්තානුපස්සනා-ධම්මානුපස්සනා  කියන කොටස් හතරට;  

❇️සතිපට්ඨාන භාවනාව කියන්නේ  ඒ ඒ සතිපට්ඨාන ධර්මයන් ගේ  

(1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම - නැතිවිම කියන කොටස් දෙකම දැකීමත්  

(2) කාය-වේදනා-චිත්ත-ධර්ම කියන ධර්මයන් ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්,  

(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, 

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) 

    කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කිරීමට. මෙ ය  සතිපට්ඨාන භාවනා සෑම කොටසක් අවසානයේ දී ම බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා. එම නිසා, කායානුපස්සනාවේ දැක්වෙන සෑම කොටසක් අවසානයේදීත්, වේදනානුපස්සනාව අවසානයේදීත්, චිත්තානුපස්සනාව අවසානයේදීත්, ධම්මානුපස්සනාවේ එකිනෙක සෑම කොටසක් අවසානයේදීත් එය කළ යුතු යි.

❇️කායානුපස්සනාවට භාවනා ක්‍රම 14ක් ඇතුළත්.  

(1) ආනාපාන සති භාවනාව  

(2) සක්මන් භාවනාව වැනි ඉරියව් පවත්වාගෙන යාමේ භාවනාව  

(3) සිහිනුවණින් යුතුව කටයුතු කිරීමේ භාවනාව  

(4) අසුභ භාවනාව  

(5) පඨවි-ආපෝ-තේජෝ-වායෝ 

    කියන ධාතු කොටස් 4 අරමුණු කර ගනිමින් කරනු ලබන ධාතුමනසිකාර භාවනාව සහ (6) - (14) මැරුණාට පසුව ශරීරයට සිදුවන අවස්ථා  9ක් අරමුණු කරමින් කරනු ලබන නවසීවථික භාවනාව කියන්නේ ඒ 14ට. 

මේ සෑම කොටසක්ම භාවනා කරන විට,  මේවා හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

ඒ වගේම, කයේ  

(1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම - නැතිවිම කියන කොටස් දෙකම දැකීමත්  

(2) කයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්,  

(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, 

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) 

    කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

❇️වේදනානුපස්සනාවට අන්තර්ගත වන්නේ සැප, දුක්, මැදහත් (උපෙක්ඛා)  කියන වේදනා 3 ත් , එම වේදනාවන්  සාමිස සුඛ වේදනා සහ නිරාමිස සුඛ වේදනා , සාමිස දුක්ඛ වේදනා සහ නිරාමිස දුක්ඛ වේදනා, සාමිස උපෙක්ඛා වේදනා සහ නිරාමිස උපෙක්ඛා වේදනා කියන වේදනා කොටස්  6 ත්. මෙම වේදනාවන් අරමුණු කරමින් කරනු ලබන භාවනාව තමයි වේදනානුපස්සනාව. 

සාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන ඉඳ්‍රියයන්ට රූප ශබ්ද ආදී අරමුණු හමුවූ පසු  පංචකාම වස්‍තූන් ඇසුරු කර ගෙන ඇතිවන වේදනාවන්ට. නිරාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ පංචකාම වස්‍තූ වලින් තොරව ඇතිවන වෙදනාවන්ට.  භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන විට, කවදා නම් ප්‍රථිඵලයක් ලැබේදැ යි සිතන විට, ධ්‍යාන සමවත්,  ඵල සමවත් සුව විඳින විට මේ ආදී විවිධ අවස්ථාවන්හි දී ඇතිවන වේදනාවන් නිරාමිස වේදනාවන්ට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්.

මේ සෑම කොටසක්ම භාවනා කරන විට,  මේ වේදනා හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

ඒ වගේම, මේ ආකාර විවිධ වේදනාවන්ගේ 

(1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්,  ඇතිවීම - නැතිවිම කියන කොටස් දෙකම දැකීමත්  

(2) වේදනාවන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, 

(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, 

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) 

    කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

❇️චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග දකිමින් කරනු ලබන භාවනාවට.

1-2-3-රාගයෙන් යුතු සිත්, ද්වේෂයෙන් යුතු සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්,  සමෝහ සිත්)

4-5-6 රාගය ප්‍රහීණ කළ සිත්, ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ සිත් (වීතරාග-වීත දෝස-වීත මෝහ සිත්)

7.       නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සඞ්ඛිත්ත  සිත්)

8.       භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)

9.       ධ්‍යාන සිත් (මහග්ගත සිත්)

10     ධ්‍යාන වලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්) 

11     සෝවාන්, සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්).  පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බව යි.

12     අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)

13     ධ්‍යාන වලට පෙර ඇතිවන, සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත් (සමාහිත සිත්)

14      සමාහිත බවක් නැති අසමාහිත සිත්

15     වෙනත් සිතුවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් (විමුත්ත සිත්)

16     විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්

නිවන් දැකීමට නම්, මේ සිතුවිලි හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

ඒ වගේම, මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ  

(1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම - නැතිවිම කියන කොටස් දෙකම දැකීමත්  

(2) චිත්ත ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්,  

(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, 

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) 

    කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගන්නට ඕනෑ..

❇️ධම්මානුපස්සනා :

ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම 5ක් තිබෙනවා.

1 කාමච්ඡන් ද -ව්‍යාපාද-ථීනමිද්ධ-උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන නීවරණ ධර්ම අරමුණු කර ගෙන කරනු ලබන භාවනාව 

2 රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංචස්කන් ධ පිළිබඳ භාවනාව

3 ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන ඉඳ්‍රියයන් ද, ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදී අරමුණු ද නිසා ඇතිවන සංයෝජන ධර්මයන් ද අළලා කරන භාවනාව  

4 සත්ත බොජ්ඣංග භාවනාව

5 දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්‍ය සත්‍යය යන චතුරාර්‍ය සත්‍යයන් පිළිබඳ භාවනාව

❇️❇️❇️නීවරණ භාවනාව :  

❇️කාමච්ඡන්දය කියා කියන්නේ රූප-ශබ්ද-ගන්ධ රස-ඵොට්ඨබ්බ  (කායික ස්පර්ශයන්ට අරමුණු වන දේවල්) කියන අරමුණු වලටත්,  ඒවා නිසා ඇතිවන ආශ්වාදයන්  විඳීමටත් ඇති කැමැත්තට. තමාගේ සිතේ කාමච්ඡන්දය ඇතිනම් ඒ බවත්, කාමච්ඡන්දය සිතේ නැත්නම් ඒ බවත්, නූපන් කාමච්ඡන්දය ඉපදුණු කල ඒ බවත්, උපන් කාමච්ඡන්දය නැතිවූ විට ඒ බවත්, නැතිවූ කාමච්ඡන්දය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ කල ඒ බවත් දැන ගැනීම කියන ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීම යි මෙයින් අදහස් කරන්නේ. මේවා මොනවාද, මේවා ඇතිවන හේතු මොනවාද , මේවා නිසා ඇතිවන ආදීනව මොනවාද, මේවා නිරුද්ධ කරන්නේ කොහොම ද, මේවා අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, දුක්ඛ සත්‍යක් හා සමුදය සත්‍යයක් බව, මේවා කෙරෙහි කලකිරිය යුතු බව, නො ඇලිය යුතු බව ආදී කරුණු තමා විසින්ම දැක අවබෝධ කර ගැනීම යි  ‘යථා පරිදි දකිනවා’ කියන්නේ.

❇️ව්‍යාපාදය: තරහව, ක්‍රෝධය‍ ,  නුරුස්නා ගතිය, අමනාපය, නො සතුට ආදිය ව්‍යාපාද නීවරණයට ඇතුළත්. තමාගේ සිතේ ව්‍යාපාදය ඇතිනම් ඒ බවත්,  සිතේ ව්‍යාපාදය නැත්නම් ඒ බවත්, නූපන් ව්‍යාපාදය ඉපදුණු කල ඒ බවත්, උපන් ව්‍යාපාදය  නැතිවූ විට ඒ බවත්, නැතිවූ ව්‍යාපාදය  නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ කල ඒ බවත් දැන ගැනීම පිළිබඳව ඒ ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීම යි මෙයින් අදහස් කරන්නේ.

❇️ථීන මිද්ධය: ථීන මිද්ධය කියන්නේ සිතේ මැලි බව, අලස බව, නිදිමත ගතිය ආදියට. මේවා සිතේ ඇති බව , නැති බව,  ඇතිවූ විට ඒ බව, ඉපදුණු ථීනමිද්ධය නැතිවූ විට ඒ බව, නැති වූ ථීනමිද්ධය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ විට ඒ  බව යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් භාවනා කළ යුතු වනවා.

උද්ධච්ච කුක්කුච්ච: සිත නොයෙක් අරමුණු කරා දුවමින් විසිරෙන ගතිය උද්ධච්චය යි, තමා විසින් මේ දක්වා කර ඇති අකුශලශ හා කර නො මැති කුශල් ගැන සිත-සිතා පසුතැවීම කුක්කුච්චය යි. මේවා සිතේ ඇති විට ඒ බවත්, නැති විට ඒ බවත්, සිතේ නො තිබුණු මේවා ඇති වූ විට ඒ බවත්, ඇති වූ මේවා නැති වී ගිය විට ඒ බවත්, නැති වූ මේවා නැවත නූපදින ලෙසම නිරුද්ධ වී ගිය විට ඒ බවත් යථා පරිදි දැකීම මින් අදහස් කරනු ලබන භාවනාව යි. 

❇️විචිකිච්ඡා : බුද්ධ, ධර්ම, සංඝ ත්‍රිවිධ රත්නය, පෙර පැවැති භව, පසුව ඇතිවන භව, පෙර සහ පසු භව, (සම්මුති වශයෙන් භව කියා කියන වචනයට අප කියන්නේ පෙර ආත්මය ආදී වශයෙන් ආත්මය කියලා.) පටිච්චසමුප්පාද ධර්ම, සහ ශීල-සමාධි-ප්‍රඥා කියන ත්‍රිශික්‍ෂාව ගැන ඇතිවන සැක 8මෙයට ඇතුළත්. මෙවැනි සැක කිසිදා නැවත නූපදින ලෙස සම්පූර්ණයෙන් ම  දුරුවන්නේ සෝවාන් වූවාට පසුව පමණ යි. මේවා  ගැනත් ඇති බව , නැති බව ආදී කරුණු කලින් නීවරණ වලට කියා ඇති කරුණු ආකාරයෙන් ම අවබෝධ කර ගත යුතු වනවා.

පංචස්කන්ධ භාවනාව : රූප-වේදනා-සංඥා-සංස්කාර- විඥාන කියන පංචස්කන්ධ මොනවාදැයි ඒවායේ නියම යථා තත්ත්වය දැකීමත්, ඒ ස්කන්ධ ඇතිවීමේ හේතු දැකීමත්, ඒ ස්කන්ධ නිරුද්ධ වී යාම දැකීමත් පංචස්කන්ධ භාවනාවට ඇතුළත්.

❇️❇️❇️ආයතන භාවනාව : 

ඇසත්- ඇසට අරමුණු වන රූපත්,  කණත්- කණට අරමුණු වන ශබ්දත්, නාසයත්- නාසයට අරමුණු වන ගන්ධයත්, දිවත්- දිවට අරමුණු වන  රසත්, ශරීරයත්- ශරීරයට අරමුණු වන ස්පර්ශයනුත්, මනසත්- මනසට අරමුණු වන දේවලුත් (ධම්මාරම්මණත්)  යථා පරිදි දැකීමත්, මේවා නිසා යම් සංයෝජන ධර්මයක් ඇතිවූයේ නම් (සංයෝජන කියන්නේ සසරෙහි බැඳ තැබීමට  හේතුවන කාමච්ඡන්ද ව්‍යාපාද ආදියට.) ඒ බවත්, උපන් සංයෝජන නැතිවූ විට ඒ බවත්, නැති වූ සංයෝජන නැවත ඇති නො වන ආකාරයෙන් ම නැති වූ විට ඒ බවත් යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් කරනු ලබන භාවනාව යි මින් අදහස් කරනු ලබන්නේ.

❇️❇️❇️සත්ත බොජ්ඣංග භාවනාව :   

1.  සති සම්බොජ්ඣංගය  - සති සම්බොජ්ඣංගය කියන්නේ  ආර්‍ය අෂ්ඨංගික   මාර්ගයේ දැක්වූ සම්මා සතියම යි.

2.  ධම්මවිචය සම්බොජ්ඣංගය - නිවන් දැකීමට අවශ්‍ය ධර්ම කරුණු නුවණින් විමස-විමසා මැනවින් දැකීම. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට මෙය සම්මා දිට්ඨිය යි.  

3.  විරිය සම්බොජ්ඣංගය - ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ දැක්වෙන සම්මා වායාමය යි මෙයින් දැක්වෙන්නේ.

4.  පීති සම්බොජ්ඣංගය - හාවනාවේ දී ශරීරය පිනා යන බව හා සිත සතුටට පත්වීම්. ප්‍රීතිය නිසා සතුට ඇතිවන බවත්, සතුට නිසා කයේ සහ සිතේ සැහැල්ලු බවක් (පස්සද්ධිය) ඇතිවන බවත්, එයින් සිත සමාධියට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ  විසින් වදාරා තිබෙනවා.

5.  පස්සද්ධි සම්බොජ්ඣංගය - භාවනා කරන විට කයේ සහ සිතේ දැඩි ඕලාරික බව නැති වී සැහැල්ලු වී සන්සිඳී යන බව.

6.  සමාධි සම්බොජ්ඣංගය - සිත සමාධියට පත්වීම.  (පීති, පස්සද්ධි, සමාධි කියන බොජ්ඣඞ්ග 3 ම ආර්‍ය අෂ්ට්ඨාංගික  මාර්ගයට අනුව බලන විට සම්මා සමාධියට යි අයත් වන්නේ.)

7.  උපෙක්ඛා සම්බොජ්ඣංගය - තමාගේ අනුන්ගේ සහ සියළුම ජීවී අජීවී සංස්කාර කෙරෙහි ඇලෙන්නේත් නැතිව, ගැටෙන්නේත් නැතිව සිත මැදහත්ව පැවැතීම. මෙය ඉතා ප්‍රකටව දැනෙන්නේ විදර්ශනා භාවනා කරන විට සංස්කාර උපෙක්ඛා ඥාන අවස්ථාවේ දි යි. මෙය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්‍ය සත්‍යයට වැටෙන නිසා , ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට යි මෙය අයත් වන්නේ.

බොජ්ඣඞ්ග ධර්ම භාවනා කරන විට, ඒ ඒ බොජ්ඣඞ්ග ධර්මයන් තමාගේ සිත තුළ ඇති විට ඇති බවත්, නැති විට නැති බවත්,  නූපන් බොජ්ඣඞ්ග ධර්ම ඇති වූ විට ඒ බවත්, යම් කලෙක උපන් බොජ්ඣඞ්ග ධර්ම භාවනාවෙන් සර්ව සම්පූර්ණත්වයට පත් වූ විට ඒ බවත් දැකිය යුතු වනවා.

චතුරාර්‍ය සත්‍ය භාවනාව :  චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමන්ට ම ප්‍රත්‍යක්‍ෂ වන සේ  දකිමින් කරනු ලබන භාවනාව යි මෙයින් අදහස් කරන්නේ.  දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්‍ය සත්‍යය  ගැන පොත්පත් කියවා, ධර්ම දේශනා අසලා, මතක තබාගෙන තිබුණත්, අන් අයට ඒ පිළිබඳ කරුණු කියා දෙන්නට හැකියාව තිබුණත්, ප්‍රත්‍යක්‍ෂ ලෙස මෙම සත්‍යයන් නො දන්නා කෙනකුට නිවන් අවබෝධ කරන්නට බැහැ.

අතීත සංසාරයේ කියන්නට බැරි තරම් කල්ප ගණන් අපි සසර අනන්තවත්  දුක් වින්දා. මෙවැනි කුඩා ලිපියකින් ඒවා කෙටියෙන් හෝ දැක්විමට බැහැ. ඒ දුක ගැන කල්පනා කර බලමින් තරමක හෝ අවබෝධයක් ඒ ගැන ඇතිකර ගන්න. මේ දක්වා මේ භවයේ දී කොච්චර දුක් අපි අත්දැකලා තිබෙනවා ද , මැරෙන තෙක් තව කොච්චර නම් ජරා ව්‍යාධි මරන දුක් විඳින්නට වෙයි ද, සෝවාන්වත් නො වුණොත් අනාගත භව වල දී තව කොච්චර නම් දුකකට පත් වෙනව ද කියලා තරමක හෝ හැඟීමක්වත් ඇතිකර ගන්නට බලන්න.  මේ පංචස්කන්ධයන්ගේ පැවතීමයි දුක,මේක ම යි දුක්ඛ සත්‍යය , මේක ම යි දුක් ලබදෙන දුක්ඛ සමුදය සත්‍යය, මේක තිබෙන තාක් කල් දුකෙන් ගැළවෙන්නට බැහැ, සසර එක මොහොතක්වත් රැඳී නො සිටිය යුතු යි කියන අවබෝධය ඇතිවනවා ඒක නිවන් දැකීමට ඉතාමත් ම ප්‍රයෝජනවත් වෙනවා.

දුක්ඛ සමුදය සත්‍යය  එදිනෙදා ජීවිතයේ දී  ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න. ඇස කණ නාසය ආදී ඉඳ්‍රියයන්ට රූප ශබ්ද ආදී අරමුණු ලැබෙන විට ඒ හමුවෙන අරමුණු කෙරෙහි ඇලෙමින්, ගැටෙමින්, ඊර්‍ෂ්‍යා කරමින්, විවිධ අකුශල විතර්ක ඇතිකර ගනිමින්, පාපයන් රැස් කර ගනිමින් කොච්චර නම් දුක් ලබා දෙන දෙයක් ද සිදුකරන්නේ. ඒ වගේම තමයි මෛත්‍රි, කරුණා ආදී කුශලුත්. ඒවාත් නැවත නැවත ඉපැදීමට හේතු වන කරුණු. ඒ  කුශල් දුක්ඛ සමුදයක් බව තේරුම් නො ගත්තත් අකුශල විතර්ක වලින්වත් වළකින්නට බලන්න. ජීවිතය පුරාම සිදුවන්නේ දුක්ඛ සමුදය රැස්වීමක් බව තේරෙනවා නම් ඒ අවබොධය නිවන් දැකීමට බෙහෙවින් ඉවහල් වනවා.

දුක්ඛ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ ලෙස දැකිය හැකි වන්නේ සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ වීමෙන් පමණ යි.

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්‍ය සත්‍යය තමයි ත්‍රිශික්‍ෂාව, ආර්‍ය අෂ්ට්ඨාංගික මාර්ගය, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කියන්නේ.  ඒවා අතුරෙන් තමන්ට වැඩීමට හැකි  කවර හරි කොටසක් ප්‍රගුණ කරන්නට මහන්සි ගන්නට ඕනෑ.

ධම්මානුපස්සනාවේ දැක්වෙන සෑම භාවනා කොටසක්ම කරන විට නීවරණ-පංචස්කන්ධ- ආයතන-බොජ්ඣංග-ආර්‍ය සත්‍යය ධර්ම ආදී වශයෙන් දක්වන සෑම එකක්ම පංචස්කන්ධයේම පැවැත්මක් හැර වෙන දෙයක් නො වන බව දැකීම නිවන් දැකීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනවා.

නිවන් දැකීමට නම්, මේ කියන ලද නීවරණ, පංචස්කන්ධ, ආයතන, සත්ත බොජ්ඣඞ්ග, චතුරාර්‍ය සත්‍ය ආදී ධර්ම කරුණු හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව ධම්මානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

ඒ වගේම, පංචස්කන් ධයේ 

(1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම - නැතිවිම කියන කොටස් දෙකම දැකීමත්  

(2) පංචස්කන්ධයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්,  

(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, 

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) 

    කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

පංචස්කන්ධය නිරන්තරයෙන්ම අනිත්‍යයට යන හැටිත්, අනිත්‍යයට යාම නිසාම නිරුද්ධ වී යන හැටිත්, නිරුද්ධ වී ගිය කිසිම දෙයක ආත්මයක්, මමෙක්, මගේ බවක් ඉතිරි නො වන හැටිත් ප්‍රත්‍යක්‍ෂ ලෙසම භාවනාවෙන් පෙනී ගියහොත් මේ ජීවිතයේදීම නිවන අත්දකින්නට පුළුවන්.

❇️සතර සම්මප්පධාන :  

සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වා ඇති සම්මා වායාමය පිළිබඳ කරුණුම යි  සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නෙත්.

සතර ඍධිපාද : නිවන් දැකීම අනුව කියනවා නම් ඍධිපාද ධර්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල හා නිවන අවබෝධ කිරීමට අනිවාර්‍යයෙන් ම ඇතිකර ගත යුතු ධර්ම වලට. ඒවා ඡන්ද ඍධිපාද, චිත්ත ඍධිපාද, විරිය ඍධිපාද, වීමසා ඍධිපාද කියා හතරක් තිබෙනවා. මේවා අතුරෙන් අඩුවශයෙන් එකක්වත් අනිවාර්‍යයෙන් ම ඇතිකරගත යුතු ම යි. මේවා ඍධිපාද ධර්ම වීමට නම්, ‘කවර බාධකයක් ආවත්, මොන-මොන පීඩා ආවත්, ඒ සෑම එකක්ම මැඩගෙන මම බලාපොරොත්තුවන දෙය ලබාගෙන මිස නවතින්නේ නැහැ, නො වරදවාම ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වන තෙක් ම මම මේ භාවනාව කරන එක කරනවා ම යි’ ආදී වශයෙන් ඉතා දැඩි සේ, බහානොතබන ලද ඡන්ද ආදී ඍද්ධිපාද ධර්මයන් ඇතිකර ගන්නට ඕනෑ. එහෙම නැතිව එක පාරට ම ඡන්දයක්, සිතක්, වීර්‍යයක්, ප්‍රඥාවක් ඇති වූ පමණින් ඒවා ඍද්ධිපාද වන්නේ නැහැ.

❇️ඡන්ද ඍද්ධිපාද : ඡන්ද කියන්නේ තමන් ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වන ධ්‍යාන, සෝවාන් ආදී මාර්ග ඵල, හා නිවන කොහොම හරි ලබා ගැනීමට ඇති කැමත්තට.

❇️චිත්ත ඍද්ධිපාද : ධ්‍යාන මාරගඵල නිර්වාණය අත්දැකීමට ඇතිකර ගත යුතු බලවත් සිතක් ඇතිකර ගැනීමට යි චිත්ත කියා කියන්නේ.

❇️විරිය ඍද්ධිපාද : ඍද්ධිපාද ධර්මයක් සේ ඇතිකර ගත යුතු වීර්‍යයක් නිවන් දැකීමට අනිවාර්‍යයෙන් ම තිබිය යුතු ම යි.

❇️වීමංසා ඍද්ධිපාද : වීමංසා කියන්නේ ප්‍රඥාවට;  සසරේ විඳින ලද දුකත්, සසරෙහි රැඳී සිටීමේ ඇති භයානකකමත්, නිවන් අවබෝධ කිරීමේ ඇති වටිනාකමත් ආදී කරුණු නුවණින් අවබෝධවීම නිසා ඇතිවන ප්‍රඥාවට. 

❇️❇️❇️පඤ්චිඳ්‍රිය : 

ශ්‍රද්ධා-විරිය- සති- සමාධි-ප්‍රඥා කියා ඉඳ්‍රිය ධර්ම 5ක් තිබෙනවා. මෙම ඉඳ්‍රිය 5 සම්පූර්ණයෙන් ම දියුණු කළහොත් රහත් විය හැකි බවත්, ඊට වඩා අඩුවෙන් දියුණු කළොත් අනාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් සකදාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළහොත් සෝවන් වීමටත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් ධම්මනුසාරී කෙනකු වීමට හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළ කෙනකුට සද්ධානුසාරී පුද්ගලයකු විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. එම නිසා මෙම ඉඳ්‍රිය ධර්මයන් දියුණු කර ගැනීමේ ඇති වටිනාකම තේරුම්  ගන්න.

අනෙක් අයට වඩා අධිපති බවක්, ඉසුරු බවක් යම් ස්ථානයක අධිපතියෙක් උසුලනවා වගේ, වෙනත් කරුණු අභිබවා ශ්‍රද්ධා ආදී ධර්ම අධිපති බවක් උසුලන නිසයි ඉඳ්‍රිය කියන්නේ.  උදාහරණ වශයෙන් ශ්‍රද්ධාව විනාශ වී යන කරුණු එන අවස්ථාවක හරි ශ්‍රද්ධාව නො සැලී පවතිනවා නම් ඒක ඉඳ්‍රිය ධර්මයක්. ශාරීරික අසනීපගති හරි, වෙනත් නොයෙකුත් කරුණු නිසා හරි ශරීරයේ වීර්‍යය නැතිවී ගියත්, සිතේ වීර්‍යය පවතිනවා නම් ඒකත් ඉඳ්‍රිය ධර්මයක්. සම්මා සතිය නැතිවී යන රාගය තරහව ආදී කෙලෙස් පැනනගින වේලවක වුණත් ඒ ක්ලේශ යටකරගෙන සතිය සිහිවී කෙලෙස් වලින් සිත මුදවා ගෙන සම්මා සතියෙන් කටයුතු කරන්නට හැකි නම්, ඒ වගේම සමාධිය පවත්වා ගෙන යා නො හැකි ශබ්ද වලින් පිරුණු විශාල ජනකායක් මැද හරි සමාධියෙන් ඉන්නට පුළුවන් නම් ඒවත් ඉඳ්‍රිය ධර්ම. ඇසුරු කිරීමට ලැබෙන්නේ ලෞකික දේ වලම පැටලී සිටින, ප්‍රඥාව නැතිවී යන දේම කියන අය මධ්‍යයේ වුණත් විදර්ශනාමය ප්‍රඥාවකින් සිටිය හැකි නම් එයත්  ඉඳ්‍රිය ධර්මයක්.  

❇️ශ්‍රද්ධාව : බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ දකිමින්, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහා ගෙන, උන්වහන්සේ කෙරෙහි ඇතිකර ගත යුතු බලවත් ශ්‍රද්ධාවක් නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනකු විසින් ඇතිකර ගත යුතු ම යි. ධර්මයේ පවත්නා ‘මේ ජීවිතයේදීම අත්දැකිය හැකි සාන්දිට්ඨික’ ආදී ගුණ දකිමින් ධර්මය කෙරෙහි ඇති කර ගනු ලබන ශ්‍රද්ධාවත්, නිර්වාණය අවබෝධ කර ගත් සංඝයා ළඟ පවත්නා සුපටිපන්න ආදී ගුණ දකිමින් සංඝයා කෙරෙහි  ඇති කර ගත යුතු ශ්‍රද්ධාවත් තිබීම  නිවන අත්දැකීමට අවශ්‍ය දෙයක්.

❇️විර්‍යය: ආර්‍ය අෂ්ට්ඨාංගික මාර්ගයේ සම්මා වායාම අංගයේ දක්වා ඇති සතර ආකාරයෙන් ඇතිකර ගත යුතු වීර්‍යයක් නිවන් දැකීමට අනිවාර්‍යයෙන්ම තිබිය යුතු යි.

❇️සතිය : සතිඳ්‍රිය  කුමක් ද කියා විමසා, බුදුරජාණන් වහන්සේ එය විස්තර කර ඇත්තේ " බොහෝ ඈත සිදුවූ දෙයක් හෝ කරන ලද හෝ කියන ලද දෙයක් සිහි කිරීමට හැකි බලවත් සිහියකින් යුතුව, කායානුපස්සනා ආදී සතර සතිපට්ඨාන ධර්ම දියුණු කරමින් වාසය කරයි"  කියල යි. මේ විධියට සතිඳ්‍රිය දියුණු කිරීමට උත්සාහ ගැනීම කළ හැකි නම් ඒක ඉතා හොඳ යි. එහෙම කරන්නට නො හැකි නම් කලින් සම්මා සතිය දියුණු කිරීමට කියා ඇති ආකාරයෙන් හරි සතිය  දියුණු කර ගැනීමට උත්සාහ ගන්න.

❇️සමාධිය : සියල්ල අතහැර ලබන නිර්වාණය අරමුණු කොට, සිතේ එකඟබවක් සමාධියක් ඇතිකරගෙන, 1-2-3-4 රූපාවචර ධ්‍යාන වලට සමවැදී සිටීම සමාධිඳ්‍රිය  බව යි බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. කවර ආකාරයකින් හරි සමාධිය දියුණු කර ගැනීම  නිවන් දැකීමට ඉතාමත්ම අවශ්‍ය දෙයක්.

❇️ප්‍රඥාව : පංචස්කන්ධයන් ගේ ඇතිවීම නැතිවීම අත්දැකිය හැකි, නිවනට පත්කරනු ලබන ප්‍රඥාවකින් යුතුව, දුක්ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්‍ය සත්‍යයන් යථා පරිදි අත්දකින ප්‍රඥාව පඤ්ඤිඳ්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.. ඒ විධියට අපි පඤ්ඤිඳ්‍රිය දියුණු කර ගත යුතු ම යි නිවන අත්දැකීමට.

පඤ්චබල : ශ්‍රද්ධා -විරිය-සති-සමාධි-ප්‍රඥා කියන කොටස් 5 ම බල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවන් තිබෙනවා. හරියට බලවන්තයෙක් දුබලයන් යටකරගෙන නැගී සිටිනවා වගේ. අශ්‍රද්ධාව මතුවී එන බොහෝ කරුණු මධ්‍යයේ වුණත්, ශ්‍රද්ධාව නො සැලී තිබෙනවා නම් ඒක ශ්‍රද්ධා බලයක්. මේ වගේම අනෙත් බල ධර්ම 4ත් තේරුම් ගන්න.

සත්ත බොජ්ඣඞ්ග හා ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය :   මීට කලින් මේවා විස්තර කර තිබෙන නිසා නැවත ඒ ගැන විස්තරයක් අවශ්‍ය වන්නේ නැහැ.

මේ දක්වා කීවේ නිවන් දැකීමට දියුණු කර ගත යුතු ත්‍රිශික්‍ෂාව, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය හා සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කියන කරුණු පිළිබඳව කෙටි විස්තරයක් පමණ යි.

පූජනීය දන්කන්දේ ධම්මරතන හිමියන් විසින් රචිතයි..

Comments